Monday, August 17, 2009

Deepthi Kumara Gunerathne - What's Next in Sri Lanka


ඉදිරියේදී උතුරේ දැකගත හැක්කේ බැරැක්ක සමාජයක්

දීප්ති කුමාර ගුණරත්න ලංකා සමග දැක්වූ අදහස් : (ලංකා ජූනි 21, 2009)



යුද්ධය අවසන් බවට ආරක්ෂක ප්‍රධානීන් පසුගියදා ජනාධිපතිවරයාට නිල වශයෙන් දැනුම් දුන්නා. එල්ටීටීඊයත් අවසන් මොහොතේ අවි නිහ~ කරන බව ප්‍රකාශ කළා. ඒ අනුව දැන් තියෙන්නේ පශ්චාත් යුද සමාජයක්. මේ තත්වය ඔබ විග්‍රහ කරන්නේ කොහොමද?

ඒ අදහස මම පිළිගන්නේ නෑ. යුද්ධය අවසන් යැයි කීම නව ලිබරල්වාදී අදහසක්. නව ලිබරල්වාදයේ ප්‍රධාන අදහස තමයි ප්‍රශ්න, ගැටුම්, ප්‍රතිවිරෝධතා නැති සුසංසවාදී සමාජයක් ගොඩනැගීම. ඕන දෙයක් කතාවෙන් බහෙන් බේරා ගන්න, ඕන නැති දේවල් කරන්න යන්න එපා, ඕක තමයි නව ලිබරල්වාදී අදහස. මාක්ස්වාදියෙක් හැටියට මම කියන්නේ ඔය “පාශ්චාත් යුද සමාජය” කියන වචනය නව ලිබරල්වාදී අදහසක්. මම ඒක පැහැදිලි කරන්නම්. 1999 දී කවුද යුද්දෙ දිනුවෙ කියල කව්රු හරි ඇහැව්වොත් අපට ලැඛෙන උත්තරය එල්ටීටීඊය. 2009 දී කවුද දිනුවෙ කියල ඇහැව්වොත් ආණ්ඩුව. කවුරුත් 2019 ගැන අහන්නේ නෑ. හැමෝම හිතන්නේ “මේ දැන් “ (Now) තමයි සදාකාලික කියල. මේක ප්‍රශ්න කළ යුතුයි. උදාහරණයක් හැටියට නැපෝලියන් බොනපාට් එක වෙලාවක දිනුවා. නමුත් පස්සේ පැරදුණා. අපි හිතනවා දැන් එල්ටීටීඊය පරාදයි කියලා නමුත් කවුරුත් දන්නවද අනාගතේ මොනවා වෙයිද කියල. හේගල් කියන දාර්ශනිකයා කිව්වේ අනාගතයෙන් තමයි අතීතය අර්ථකථනය වෙන්නේ කියලා. කෙටියෙන් කියනවා නම් මේ පවතින්නේ පශ්චාත් යුද වාතාවරණයක් නෙවෙයි, මේ පවතින්නේ ප්‍රධාන මව් යුද්ධයකට පස්සෙ ඉදිරියේ දී එන්න නියමිත තවත් යුද්ධ ගණනාවකට පෙර පවතින අතරමැදි නිසසල කාලයක්.

ඔබ පවසන මේ “මව් යුද්ධයට “ පාත්‍ර වූ ප්‍රදේශවල ජනතාව විශාල ලෙස උන්හිටිතැන් නොමැති තත්වයකට පත් වෙලා. මේ අවතැන්වූවන්ගේ ගැටලූව ඔබ තේරුම් ගන්නේ කොහොමද? මෙය පශ්චාත් යුද ගැටලූවක් නෙමෙයිද?

මේ ප්‍රශ්නය ඔබේ පළමු ප්‍රශ්නයට සම්බන්ධයි. පළමුව කියන්න ඕනේ මේක සිවිල් යුද්ධයක්. එහෙම නැතුව රටවල් දෙකක් අතර ඇතිවුණු යුද්ධයක් නෙවෙයි. සාමාන්‍යයෙන් මේ වගේ යුද්ධ ජයග්‍රහණය කළා කියලාවත් කියන්නේ නෑ. ජයග්‍රහණය කරනවා කියන්නේ රටවල් අතර යුද්ධ. මේක සලකා තියෙන්නේ සිංහල ජාතිය විසින් දෙමළ ජාතිය පරාජය කළ විදිහටයි. දැන් ඔබ අහන දෙමළ මිනිසුන්ට මොකද වුණේ කියන ඔය ප්‍රශ්නය, භයානක ප්‍රශ්නයක්, මොකද එහෙම දෙයක් වුණේ නෑ කියලා තමයි දකුණේ හැමෝම කියන්නේ සහ හිතන්නේ. අපි හොඳට ම දන්න දෙයක් තමයි දෙමළ මිනිසාගේ පවුල, ගෙදර දොර, හරකබාන කිසි දෙයක් නෑනේ, දැන් අපට වුවමනා කරලා තියෙන්නේ, එහෙම දෙයක් වුණෑ නෑ වගේ ඒ සියල්ල අමතක කරලා අපේ ජොලියේ අපි ඉන්න එකනේ. මොකද ලිබලර් ධනවාදයට පාදඩ විදියටම සෙට් වෙච්ච සිංහල සමාජයක් තමයි දකුණේ තියෙන්නේ. අඩුම තරමේ කවුරුත් මේ පාදඩ සමාජයට ගලක්වත් ගහන්නේ නෑ. එච්චරට මේකට හැමෝම සෙට් වෙලා ඉන්නේ. ඉතින් මේ මිනස්සුන්ට අනුන්ගේ වද වේදනා අනන්මනන් ඕනෙ නෑනේ. ඒ නිසා ඔබේ ප්‍රශ්නය දෘශ්‍යමාන නෑ. අදෘශ්‍යමානයි. යට ගහල තියෙන්නේ. නමුත් ඇත්ත ගැටලූවක් තියෙනවා. ඊළඟට ඔබ මතු කරන දෙමළ ජනතාව යළි නගා සිටුවීම ඒ අයගේ ආර්ථීකය ගොඩනැගීම ආදී ගැටලූත් විසඳිය නොහැකි ගැටලූ විදිහටයි. මම අඳුනා ගන්නේ. මේ ආණ්ඩුවට මේ අයව නැවත පදිංචි කරන්න බෑ. එකම දෙයයි කරන්න පුළුවන්, බැරැක්කයක් හදන්න පුළුවන්. උතුරේ සමාජය වටේ තාප්පයක් ගහලා අර පලස්තීනයන්ගේ කිබිට්සු වගේ වෙන් කරපු පළාතක් හදන්න පුළුවන්. පූර්ණ ආමි ගැරිසන් එකක් ඒ කියන්නේ ඉදිරියේ දී දෙමළ සමාජය කියලා අපිට දකින්න වෙන්නේ හමුදා පාලනයට යටත් කරපු සිවිල් නොවන බැරැක්ක සමාජයක්. එහෙම නැතිව ඒ පළාත්වල සැබෑ සිවිල් පරිපාලනය හඳන්න මේ ආණ්ඩුවට බෑ. ඒ කියන්නේ මේ ගැටලූව විසඳන්න බෑ කියන එක නෙවෙයි. අනෙක් කාරණාව මේ ජනතාවට අවශ්‍ය කෑම බීම යටිතල පහසුකම් ආදිය පිළිබඳව ගැටලූවට, මේකට කෝටි ගණනක් මුදල් අවශ්‍යයි. මම දන්න විදිහට ආණ්ඩුවට ඒ ටික ලැඛෙන්නේ නෑ. ඒ නිසා මේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය යනු අපේ රටේ නොවිසඳුණු ප්‍රශ්න අතරට එකතු වෙන තවත් එක් බරපතළ ප්‍රශ්නයක් ලෙසයි හඳුනා ගන්න වෙන්නෙ.

ඔබ නියෝජන කරන “පෙරදිග සුළං” සංවිධානය ජාතික ගැටලූවට විසඳුම ලෙස වරෙක මතු කළේ දෙමළ ප්‍රජාව සමඟ බලය ඛෙදා ගැනීම පිළිබඳව සාකච්ඡා කළ යුතු බවත්, එහි දී එකඟතාවකට පැමිණෙන්නේ නම් එය ජනමත විචාරණයකට ලක් කළ යුතු බචත් සහ එසේ නොවන්නේ නම් නැවත යුද්ධ කළ යුතු බවත් අවසානයේ ජාත්‍යන්තර මැදිහත්වීමකින් ප්‍රශ්නය විසඳනු ඇති බවයි. ඒ අනුව දැන් යුද්ධ කර එක් පාර්ශ්වයක් තාවකාලිකව හෝ ජයගෙන තිඛෙනවා. එහෙනම් දැන් ජාතික ගැටලූව අවසන්ද? නැතිනම් එහි නව ස්වභාවය කවරාකාරද?

අතිශය වැදගත් ප්‍රශ්නයක්, මම කියන්නේ මේ යුද්ධයේ එක් අදියරක් අවසන් කරමින් ප්‍රභාකරන් එක දෙයක් කළා. ඒ තමයි මේ ප්‍රශ්නයට විසඳුම ලබා දීමේ කේන්ද්‍රය කොළඹ ආණ්ඩුවෙන් වෙන තැනකට මාරු කිරීම, දැන් ඒ කේන්ද්‍රය තියෙන්නේ වොෂින්ටන්වලයි, නවදිල්ලියෙයි, බීජිංවලයි. ඒ කියන්නේ දැන් මේ ප්‍රශ්නය විසඳන්න අනිවාර්යයෙන් තුන්වැනි පාර්ශ්වයක් අවශ්‍යයි. මේක දැන් මේ ආණ්ඩුවට විසඳන්න බෑ. කෙටියෙන් කිව්වොත් මගේ උත්තරය තමයි සිවිල් යුද්ධය මාරුවෙලා තියෙනවා විදේශයකට. ඒ කියන්නේ ජාතික ගැටලූව අවසන් නෑ. ඒක නව ආකාරයකට මාරු වෙලා තියෙනවා.

ලංකාවේ ජාතික ගැටලූව සමඟ විදේශීය සබඳතාවයන් හැමදාම පැවැතියා. ඔබ පවසන පරිදි ලංකාවේ මේ නව තත්ත්වයන් සමඟ ජාත්‍යන්තර දේශපාලනයේ හැසිරීම නමැති සාධකයක විග්‍රහ කළොත්?

ඔබ අහන ප්‍රශ්නයේ වැදගත්කම තමයි, සිංහල හෝ ඉංග්‍රීසි කිසිදු මාධ්‍යයක මේ සාධකය කතා කරන්නේ නැති එක හා ඒ අය මේ ගැන දන්නේ නැති එක. ඒ වගේම සිංහල මහජනයාගෙන් අති බහුතරයක් දෙනා මේ ගැන සොයා බලන්නෙත් නෑ. ඒ කියන්නේෙ ම්ක අදෘශ්‍යමානයි. හැබැයි මේ අදෘශ්‍යමාන යථාර්ථයෙන් තමයි ලංකාවේ අනාගතය තීන්දු වෙන්නේ.

මේ යුද්ධය සමඟ මුල ඉඳලා ම ඉන්දියාවේ සම්බන්ධයක් තිබුණා. අවසන් වෙලාවේ චීනය මැදිහත් වුණා. චීනය විශාල වශයෙන් ලංකා ආණ්ඩුවට ආයුධ ලබා දීලා මේ ප්‍රශ්නයට සම්බන්ධ වුණේ වෙන මොකකටවත් නෙවෙයි. හම්බන්තොට වරාය හරහා ඒ ගොල්ලන්ගේ අමුද්‍රව්‍ය හා තෙල් ගෙන යාම සඳහා පහසුකම් සපයා ගැනීමට. මේ ව්‍යාපෘතිය හඳුන්වලා තියෙන්නේ “මුතු ඇට අමුණන තංගුස” කියලා. එතකොට මේකට වරායවල් හත අටක් සම්බන්ධයි. පාකිස්තානයේ, බංග්ලාදේශයේ, ලංකාවේ, තායිලන්තයේ වියට්නාමයේ ආදී ලෙස රටවල් ගණනාවක වරායවල් මේකට සම්බන්ධයි. මේ මාර්ගය හරහා ඉතා ම ලාභදායී විදිහට අප්‍රිකාවෙන් අමුද්‍රව්‍යයත් මැදිපෙරදිගින් තෙලූත් චීනයට ලබා ගැනීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. පාකිස්ථානයේ හදන අලූත් වරාය නිසා ඉන්දියාවට බැරි වෙනවා කරච්චි හරහා චීන ගමන් මග බ්ලොක් කරන්න. චීනය මේ හරහා උත්සාහ කරන්නේ 2050 තමන් ලෝක බලතවතුන් වීමේ ව්‍යාපෘතිය නිසා තමන්ගේ වපසරියට මේ සියලූ ම රටවල් ඇතුළත් කරගන්න. එතකොට ඒගොල්ලෝ මේ යුද්දෙට මැදිහත් වුණේ ඒ නිසා, එහෙම නැතිව මහින්ද රාජපක‍ෂයට ආදරේ නිසා හරි, ලංකාව ඉන්දියන් සාගරේ මුතු ඇටේ හරි හින්දා නෙවෙයි.

හැබැයි දැන් මේ චීන මැදිහත් වීම ඇමෙරිකාවටත්, ඉන්දියාවටත් දැනිලා තියෙනවා. ඒ නිසා දැන් ඇමෙරිකාවටත්, ඉන්දියාවටත් අවශ්‍ය වෙලා තියෙනවා එක්තරා ආකාරයකට ලංකාව කන්ට්‍රෝල් කරන්න. මෙතැනිදි බටහිර සහ ඇමෙරිකාව උත්සාහ කරන්නේ ආධාර සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හරහි ලංකාව හිර කරන්නේ. ඉන්දියාව ඒකට විරුද්ධයි. ඉන්දියාව කියන්නේ එහෙම වුණොත් ලංකාවක් බුරුමය වගේ වෙයි කියලා. ඒ නිසා ඒගොල්ලො උත්සාහ කරන්නේ ආධාර ආදිය දීලා, ටිතල පහසුකම් හදලා, ඡන්ද තියලා, යම් විදිහක ෆෙඩරල් විසඳුමක් ඇති කරන්න. මීට වඩා විවෘත සමාජයක් හදන්න, දැන් ඒ ප්‍රෙෂර් එක නිසානේ අපේ රජතුමා බුරුමේ පැත්තේ යන්නේ. ඉතින් ඒ නිසා මම මේ කෙටියෙන් කිව්වේ මේ දිනවල සිට ඉදිරි කාලය දක්වා තිරය යට ක්‍රියාත්මක වෙන ජාත්‍යන්තර දේශපාලන හැසිරීම ගැනයි. මේ යථාර්ථය තමයි ලංකාවේ අනාගතය තීරණය කරන්නේ.

ඔබ සඳහන් කළා යුද්ධයේ එක් අදිරයක් අවසන් කරමින් ප්‍රභාකරන් විසඳුමේ කේන්ද්‍රය වෙනස් කළ බව. එහෙම නම් එල්ටීටීඊයේ මීළඟ ප්‍රවේශය කවරාකාරද?

මම හිතන්නේ දෙමළ ජනතාවගේ දෙවන අදියර ආරම්භ වෙන්නේ ජාත්‍යන්තර තලයේ ඔබ අහල ඇති කොසොවෝ අරගලය. එය වසර 700ක් තරම් පැරණි එකක්. මම කියන්නේ එච්චර කාලයක් යන්නෑ. ඉදිරි වසර විස්ස අපිට ඉතාම තීරණාත්මකයි. මම කියන්නේ වට කරලා ඉඩම්කඩම් ඛෙදා හැරීමක් නෙමෙයි. ඛෙදුම්වාදයට මම එදත් විරුද්ධයි, අදත් විරුද්ධයි. ඛෙදුණොත් අපිටත් පලස්්තීනය වගේ නරකම තත්වයකටයි මුහුණ දෙන්න වෙන්නෙ. ඒ නිසා ඛෙදුම්වාදය නෙවෙයි, අපි දෙමළ ප්‍රජාව සමඟ දේශපාලන බලය ඛෙදාගැනීමේ ව්‍යාපෘතියකට යා යුතුයි අද වෙලා තියෙන විපර්යාසය තමයි. ඉදිරියේදී එවැනි බලය ඛෙදා ගැනීමේ ව්‍යාපෘතියක දී තෙවන පාර්ශ්වයක් මැදිහත් වෙන්න ඉඩකඩ හැදිලා තියෙන එක.

ඒ කියන්නේ මේ පාර අපිට ගැලවෙන්නෙ බෑ. ගේම් ගහන්න බෑ. හැමදාම සිංහල පාලකයෝ කළේ සිංහල ඡන්ද ගැනීම සඳහා දෙමළව පාවාදීමනේ. ඒ කියන්නේ රටේ ප්‍රශ්න කොච්චර තිබුණත් දෙමළව පෙන්නනවා මේ යකා තමයි අපිව විනාශ කරන්නෙ කියලා. ඒ නිසා ඌව විනාශ කරන්න අපිට ඡන්දෙ දෙන්න. මින් ඉදිරියට ඒකට ඉඩ ලැඛෙන්නේ නෑ.

ඒ නිසා මට හිතෙන්නේ ඉදිරියේ දී එවැනි බලය ඛෙදා ගැනීමේ කතිකාවක්. යම් ආකාරයකට නැවත අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කරනවා. මොකද මේ ආණ්ඩුව ආපු ජාතිවාදයේ දුර අනුව එහෙම ව්‍යාපෘතියකට යන්න දකුණේ ඉඩක් ලැඛෙන්නේ නෑ. ආණ්ඩුවේ පාර්ශ්වකරුවෝ කැමැති නෑ කිසිම ආකාරයක බලය ඛෙදා ගැනීමේ ව්‍යාපෘතියකට, ඒ නිසා දෙවැනි පාරත් මේක අසාර්ථක වෙනවා. ඒත් ඒ අසාර්ථක වෙන්නේ ප්‍රශ්නය විසඳීම සඳහා තෙවන පාර්ශ්වයකට ඉඩ විවර කර දීමෙනුයි.

දෘශ්‍යමානයේ නැති වුණත් දැන් සිංහල මිනිහයි, දෙමළ මිනිහයි වෙන් වෙලා ඉවරයි. ඒක ප්‍රභාකරන් කළේ. අර මහා විනාශය ඇතුළේ එයා ඒක කළා. දැන් අපිට සුන්දර සිහින දකින්න පුළුවන්. සින්දු කියන්න පුළුවන්. ඒත් දැන් අපි දෙගොල්ලන්ට එකට ඉන්න බෑ. ඒක තමා කටුක ඇත්ත.

ඒ වගේ ම ප්‍රභාකරන් තව ගොඩක් දේවල් නැති කළා. එකක් තමයි බුද්ධාගම නැති කළා. ඒ තමයි බුද්ධාගමට තිබුණා ලොකු කීර්තියක් ලෝකෙ. මේ ආගම වෛරය ප්‍රතික්ෂේප කරන, මානව දයාව පිළිගත්ත, මිනිස්සු මැරුණම රතිඤ්ඤා පත්තු කරලා කිිරිබත් කන්නෙ නැති. ශ්‍රෙAෂ්ඨ මානව හිතවාදී බවක්. බුදුන් වහන්සේව සැලකුවේ එහෙම ශ්‍රෙAෂ්්‍ය නායකයෙක් ලෙස. ඒ නිසා ම තමයි මේ දහම හදාරන්න විදේශයන්වලින් මිනිස්සු මෙරටට ආවේ. නමුත් ඔවුන් දැන් දන්නවා ම්ලේච්ඡයෝ දැන් ඉන්නෙ මෙහෙ කියලා.

ඊළඟට කලාකාරයෝ, මාද්‍යවේදියෝ කියලා කියන්නේ මාර හදවතක් තියෙන මේ වගේ ගැටලූවක දී එක පාර්ශ්වයක් විතරක් ගන්නැති පොදු මනුෂ්‍යයාට සිදු වූ අතරවයන් ගැන කතා කරන කට්ටියක් කියලා අදහසක් තිබුණා නම් ඒකත් නැති කළා. මේ අයත් ම්ලේච්ඡයෝ කියලා ලෝකයටම හෙළි වුණා. ඊළඟට සුදු ජාතිකයෝ අපට ඉතිරි කරලා ගිය ප්‍රජාතන්ත්‍රවාදී රාමුව, මේකත් දෙදරලා ගියා. එක්තරා ආකාරයකට දැන් අපි ඉන්නේ ෆැසිස්ට් ආකෘතියක. ඒ කියන්නේ අපි මේ යුද්ධෙ ඉවර කරන ගමන් අපේ ප්‍රජාතාන්ත්‍රික අයිතීනුත් ඉවර කරගෙන තියෙනවා. සිංහල මිනිහා තුළ තිබුණු ආගන්තුක සත්කාර ගුණය, අනෙකාට ගරු කිරීම ආදී ආචාරධර්ම පද්ධතියට සිංහල බෞද්ධ හැඟවුම් පද්ධතියම විනාශ වෙලා තියෙනවා. අපි නිරුවත් ලෙස ම්ලේච්ඡ වානරයෙක් බව ලෝකෙට හැඟවිලා තියෙනවා. 89 මේක ආවේ මිනී කන්නන්ගේ දේශය කියලා. දැන් එන්නේ අතිශය ම්ලේච්ඡ තත්ත්වයක් ලෙසයි. විදේශවල ඉන්න සිංහල අය මං මේ කියන දෙයත් එක්ක එකඟ වෙනවා ඇති. ඒකයි මං කියන්නේ අනාගතයේ දී දේශපාලන සංගායනාවක් තියලා අපේ වැරදි මෙනවාද, ඒ අයගේ වැරදි මොනවාද කියලා කතා බහ කරලා මේ ප්‍රශ්නය අපි මානුෂීයව විසඳගන්නේ නැත්නම් ඩාෆූර් වගේ තත්ත්වයක් ඇති වීම අනිවාර්යයි. අපි අද හිතනවා ප්‍රභාකරන්ගේ ඛෙදුම්වාදයෙන් අපි බේරුණා කියලා. නමුත් අද උතුරු නැගෙනහිර ඉන්දියාවටත්, දකුණ චීනයටත් යටත්වෙලා තියෙනවා. මේක තමයි කටුක ඇත්ත, කවුරුත් කතා නොකරන ඇත්ත.

ප්‍රභාකරන් ඉවර කරපු අනිත් එක තමයි ශ්‍රී ලංකා නිදහස් පක‍ෂය. ඒකත් ඉවර කළා. මතක තියා ගන්න මහින්ද රාජපක‍ෂගෙන් පස්සෙ ශ්‍රී ලංකා එකත් නෑ. මගේ අදහසට අනුව ඊළඟට විපක‍ෂය බවට පත්වන්නේ ජවිපෙ මොකද නුදුරේදීම මේ ආණ්ඩුව බිඳ වැටුණයින් පස්සේ ආයේ ශ්‍රී ලංකා එකක් කියලා දෙයක් ඉතිරි වෙන්නෙ නෑ. ඒක රාජපක‍ෂ චප්ප කරලා, අඩුම කුඩුම ඔක්කොමත් එක්ක වෙඩි ඛෙහෙත් දාලා පුපුරවලා තියෙන්නේ. ඒකට ආයෙ කිසි ම සමාජ පදනමක් නෑ. සුළු ජාතීන් මේක දිහා පැත්ත හැරිලා බලන්නෙ නෑ.

ඔබ කියනවා ඛෙදුම්වාදයට විරුද්ධ බවත්, ඒත් දෙමළ ප්‍රජාව සමඟ දේශපාලන බලය ඛෙදා ගත යුතු බවත්, මේ සඳහා වන ක්‍රමවේදය කුමක්ද? මේක ආණ්ඩුව යෝජනා කරන බලය ඛෙදාහැරීමේ යෝජනාවලියෙන් එය වෙනස් වන්නේ කෙලෙසද?

නෑ. මම කියන්නේ ඔය කියන, බලය ඛෙදීමේ සර්වපාක‍ෂික යෝජනා ගැන නෙමේ. මේකට තියෙන ක්‍රමවේදය ගැන මම කියනකොට ගොඩක් අය හිනාවෙනවා. නමුත් මෙයයි ක්‍රමවේදය, දෙමළ ප්‍රජාව ඉල්ලන දේ සහ අපිට දිය හැකි දේ පිළිබඳව මුලින් ම පත්‍රිකාවක් සකස් කරගත යුතුයි. ඒකට තිස්ස විතාරණලා හරියන්නේ නෑ. ඊට පස්සෙ ප්‍රධාන පක‍ෂ දෙක මේකට එකඟ විය යුතුයි. මොකද මේකට හැමෝම එකඟ කරගන්න බෑ. ජවිපෙ කොහොමත් එකඟ වෙන්නෑ. ඉන් පස්සේ මෙම පත්‍රිකාව ජනමත විචාරණයට ලක් කළ යුතුයි. මෙතැනදී පක‍ෂ අයටත්, විපක‍ෂ අයටත් සාධාරණ විදිහට අදහස් ඉදිරිපත් කිරීමේ අවකාශයක් තිබිය යුතුයි. මොකද මම එහෙම කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ ජනමාද්‍ය ජාතිවාදීයි. නිකන් ජාතිවාදීන් නෙමේ නට නට ඉන්න ජාතිවාදීන් දේශපාලකයෝත් එහෙමයි. අනෙක් එක ලංකාවේ ජාතිවාදියෝ ජාතිවාදී වීමට අමතරව අම්බගේම්කාරයෝ. මම දන්නවා ඔය ජවිපෙන් ඉවත් වෙලා ගිය ප්‍රධාන දේශපාලකයෙකුගෙ බිරිඳක් ලොකු ලොකු කඩවලට සල්ලි පොලියට දෙනවා.

ආයෙමත් අර ප්‍රශ්නයට ආවොත්. සාධාරණ ජනමත විචාරණයකට ගිහිල්ලා, එහි ප්‍රතිඵලය බලලා තමයි අපිට ඉස්සහරට යන්න වෙන්නෙ. මට ඕන නම් ඒකෙ ප්‍රතිඵලයත් කියන්න පුළුවන්. ඒක නම් බහුතරයක් සිංහලයෝ මේකට විරුද්ධ වෙනවා. දෙමළ ප්‍රජාව පක‍ෂ වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ, පිටින් මැදිහත් වෙලා බලහත්කාරයෙන් කරනවා. මොකද අපේ රටේ බොහෝ විපර්යාස කරලා තියෙන්නේ ඇතළෙන් නෙවෙයි, එළියෙන්.

ඔබ දකින විදියට මෙම ගැටලූවට විසඳුම ඒකද?

නෑ.. මම දකින විදිහ නෙමෙයි, සිද්ධ වීමට නියමිත දේ මම කිව්වේ. මොකද ලෝකයේ විවිධ බල ව්‍යාපෘතිවල දී දේවල් සිදුවෙන්නේ කැමැත්තෙන් ම නෙමේ.

බලහත්කාරයත් තියෙනවා. ඒක මේ දේශපාලනයේ හැටි, නැතුව මගේ හැටි නෙමේ. මොකද දැන් ප්‍රශ්නෙ විසඳන්නේ ඔයයි - මමයි නෙමෙයි. ඒක කරන්නේ මහින්ද රාජපක‍ෂයි. රනිල් වික්‍රමසිංහයි, සෝනියා ගාන්ධියි, චීන කොමියුනිස්ට් පක‍ෂයයි, ඇමෙරිකාවේ ඔබාමායි, අපි ප්‍රශ්න විසඳනවා නම් ඒක මිට වඩා ගොඩක් වෙනස් වේවි.

ඔබ විග්‍රහ කළ විසඳුමකින් පස්සේ දකුණේ සමාජය ධනවාදයේ පාදඩකරණයට ලක් වුණා වගේ උතුරේ සමාජයටත් එහෙම වෙන්නෙ නැද්ද?

නෑ. අපිට එහෙම හිතන්න බෑ. මොකද දෙමළ සමාජයේ ජන විඥානය මෙහෙට වඩා ගොඩක් වෙනස්. බලන්නකෝ කවුද මේ දවස්වල ඔය විදිහට යුද්ධ කරන්නේ, මැරෙන්නේ, ඒ නිසා මම හිතන්නේ නැ ඔවුන් මෙහෙ තරම් පාදඩ විදිහට ධනවාදයට සෙට් වෙයි කියලා. මොකද එවැනි තත්ත්වයක් තුළ තියෙන මැතිවරණයකදී දැන් ඔය උඩින් ඉන්න ඩග්ලස් දේවානන්දලා වගේ කට්ටිය නිකම්ම විසි වෙනවා. මම හිතන්නේ එල්ටීටීඊය ඊළඟ ප්‍රවේශය ලෙස මැතිවරණවලින් එහෙ බලය අල්ලනවා. ඔවුන්ට ඒ භූමිය වගේ ම සංස්කෘතිය විනාශ වෙන්න ඉඩ දෙන එකක් නෑ. මොකද සාමාන්‍ය ලෝකෙ ඉතිහාසය දෙස බැලූවත් මෙවැනි ජාතික විමුක්ති අරගලයික්න පසු බලයට එන පාලනයන්වල ස්වභාවයත් ඒකමයි. ඒ නිසා එල්ටීටීඊය ඒක රකියි කියලා මට හිතෙනවා.

මෙම යුද ජයග්‍රහණත් එක්ක ආණ්ඩුව උත්සාහ කරනවා මැතිවරණ සියල්ල පවත්වා තමන්ගේ බලය තහවුරු කර ගැනීමේ ව්‍යාපෘතියකට යන්න. එය අපේක‍ෂා කරන පරිදි ඉටුකර ගත හැකි වෙයි ද?

කොහොමත් බෑ. මොකද මේකනේ. මේ වගේ අයව නිර්මාණය කරපු අයම මේගොල්ලන්ව ගෙවල්වලට යවනවා. මේ පවුල් බළහවුල ඇතුළේ දැනටත් එක එකා කා කොටා ගන්නවා. ඉතින් මට හිතන්නේ ඊළඟ ඡන්දෙ දී ප්‍රතිඵල බලා ගන්න පුළුවන් වෙයි. හැබැයි සමහරු ගණන් හදන් ඉන්නවා මේක තව අවුරුදු 70ක්වත් විතර ඉස්සහරට යයි කියලා. මම කියන්නේ ඒක ෆැන්ටසියක්. මොකද මේ ආණ්ඩුව වටේ මධ්‍යම පාන්තික සෙට් එකක් ඉන්නවා. කොළඹ ගෙවල් හදාගෙන පවුල් තර කර ගෙන ළමයි ඇමෙරිකා යවලා උගන්වලා ස්ථාවරත්වයක් හදාගන්න ඕන කියලා හිතන් ඉන්නෙ. ඒ අය හදාගන්නවා ෆැන්ටසියක් අපෝ තව අවුරුදු 70ක්වත් මේක තියෙනවා කියලා.

ඒ අය ෆැන්ටසි හදාගත්තා කියමුකෝ. නමුත් මේගොල්ලෝ පවුල ගොඩනගනකම් මෛත්‍රීපාල, නිමල් සිරිපාල නිකන් ඉඳියිද? අනිත් එක යුද්දෙ දිනලා කියලා කට්ටිය හිතන නිසා දැන් වෙන වෙන අභ්‍යන්තර ගැටුම් නිර්මාණය වෙනවා. මොකද විමල් වීරවංශලා වගේ කට්ටියත් ඒක ඇතුළේ ඉන්නවානේ. ඉතින් මම කියන්නේ වැඩිකල් නෑ. ඊළඟ ඡන්දයේදීම බලයේ යම් වෙනසක් වෙයි.

Thanks Lanka & Koombiya

No comments:

Post a Comment