Tuesday, August 25, 2009

සිංහල ජනමාධ්‍ය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක්

මෙම ලිපිය ‘දියැස’ 1998 සැප්-ඔක්. කලාපයේ පල වූවකි.
එහි ලියැවී ඇති දෑ අදටද සිහියට ගැනීම වැදගත්ය. එබැවින් අපි එය මෙහි පලකරමු.

අද පවතින යුද්ධයට පසුබිම් වූ හා යුද්ධය තුළ ම වර්ධනය වූ අවසන් දශකය තුළ සිදුවීම් සිංහල ජනමාධ්‍යන් හි වාර්තා වූ ආකාරයේ ඇති ජාතිවාදී හා කුහක පිළිවෙත හෙළිදරව් කිරීමට සිද්ධි වාචික ප්‍රවේශයක් ලෙසින් මෙම කටු සටහන ලියා තබමි. අපි අපේ හෘද සාක්ෂියේ ‍දෝෂාරෝපණයෙන් මිදීමට මෙසේ ලියා තබා අත පිහිදා ගන්නට කරන හීතල උත්සහයන් අතර තුරදී මිනිස් දූවිලි බවට පත් කෙරෙන දැවැන්ත ඛේදවාචකයක් අපෙන් ‘ඈත’ උතුරු නැගෙනහිර දිග හැරෙමින් පවතී. මෙහි දක්වා ඇති තෝරා ගත් සිද්ධි කීපයේ අපට වාර්තා නොවූ පසුබිම් ප්‍රවෘත්තිය බොහෝ සිදුවීම් වල පොදු සාරාංශයක් ලෙස ද මම අදහමි.

1.

මීට දශකයකටත් පෙර (1998 න් දශකයකටත් පෙර) ත්‍රීකුණාමලයේ හෝ වැලිඔය දී සාම්ප්‍රදායික දෙමළ ගම්මානවලින් පවුල් පිටින් පන්නා දමා, දකුණේ සිරගෙවල් තුළ සිටි සිංහල සිවිල් අපරාධකරුවන්ට පොදු සමාවක් දී එම ගම්මානවල පදිංචි කොට (ඔවුන් දැන සිටි කර්මාන්තයක් නොමැති විට) අවට දෙමළ ගම්මාන වලින් ම මංකොල්ලකන්නට ද පසුබිම සකසා ලූ නිධාන කථාව නොසලකා හැර සියල්ලේ අවසන් ඵලය වූ කෙන්ට් ෆාම් හා ඩොලර් ෆාම් නම් වූ ගම්මාන වෙත එල්ල වූ එල්.ටී.ටී.ඊ. ප්‍රහාරය පමණක් වියුක්ත කොට දැක්වීම.

2.

ආණ්ඩුවේ හමුවදාව විසින් වැල්වැටිතුරෙයි දී දෙමළ ගම්මානයකට පහර දී සිවිල් වැසියන් සියයක් පමණ මරා දැමූ පසුබිම් කථාව නොමැතිව ඊට පලි ගැනීම වශයෙන් එල්.ටී.ටී.ඊ ය අනුරාධපුර පූජා භූමියට එල්ල කළ ප්‍රහාරය පමණක් සිංහල සමාජයට සන්නිවේදනය කිරීම.

3.

උතුරේ නවාලි පල්ලියේ වූ අනාථ කදවුරට ගුවනින් එල්ල කළ ප්‍රහාරයෙන් එහි සිටි දමිළ ළමුන් හා මවුවර‍ෙුන් 224 ක් ඝාතනය කිරීමේ සිද්ධිය අමතක කොට මහනුවර දළදාවට පහරදීම පමණක් වාර්තා කිරීම.

4.

අගනුවර දී එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයෙන් මියගිය සිංහල සිවිල් වැසියන් පිළිබඳව පමණක් කම්පා වී, ගුවන් හමුදාවේ Y8 යානය බිම හෙළන තුරු එමඟින් උතුරට බැරල් බෝම්බ 13200 ක් හෙලූ බවත් ජීවිතාරක්ෂාව පතා අනාරක්ෂිතව මුහුදු යාත්‍රාවලින් ඉන්දියාව බලා පලා යත්දී නාවික හමුදා ප්‍රහාරයන්ගෙන් හා මුහුදු කුණාටු වලින් ජීවිත අහිමි වූ දහස් ගණනක් දෙමළ වැසියන් ගේ ඛේදවාචකය සිංහල සමාජය නොදන්නා බව වාර්තා නොවීම.

අවසන් විග්‍රහයේ දී, ගෞරවනීය පුරවැසිනයෙකු ලෙස මේ පොළොවේ ජීවත්වීමට දෙමළ ජනයාට ඇති අයිතිය නොපිළිගැනීම හා ඒ වෙනුවෙන් ඔවුන් ප්‍රථමයෙන් කල සාමාකාමී හා ගාන්ධිවාදී උද්ඝෝෂණ එවකට පැවැති ආණ‍්ඩු හා ජාතිවාදඛීන් විසින් පොඩි පට්ටම් කරනු ලැබීමේ අනිවාර්්‍ය ඵලය ලෙසින් මේ සමස්තය ඊයේත්, අදත්, හෙටත් අපි අත් විඳිමු.

p-39
තාරක වරාපිටිය
‘දියැස’ සඟරාව / 1998 සැප්තැම්බර්-ඔක්තෝබර් කලාපය

No comments:

Post a Comment